Friday, December 18, 2009

ප්‍රජා සංවර්ධනය සහ සහභාගීත්ව ක්‍රම වේදය

ප්‍රජා සංවර්ධන පාඨමාලාව හදාරන්න ඉන්දියාවට ගිය අවස්ථාවෙ මුහුණ දීපු අත් දැකීම් හරිම අපූරුයි, ඒ වහෙම හාස්‍ය ජනක ඒවත් තියෙනවා. මුල්ම කතාවෙ සඳහන් කරපු ගමට යන්න ඉස්සරින් අපිව දෙන්න ගානෙ ඉතාමත් දුගී ගම්මාන වල ගෙවල්වලට ගෙනිහින් දැම්මා. මාත් එක්ක හිටියෙ ජපන් මල්ලියෙක්.
ගමට යන්න ඉස්සරින් අපට කීවා අපේ සම්බන්ධීකාරක මේ ගම් වල වැසිකිළි පහසුකම් නැහැ, ගම අසබඩ වන රොදකට තමා මේ කටයුත්ත සඳහා යා යුත්තෙ කියල. අපි එහෙදි කොහොමටත් බෝතල් වතුර පාවිච්චි කරන නිසා, එම වතුර බෝතලයකට වතුර පුරවගෙන වන රොදට යන්න කීව. ඒ වගෙම ඒ ගම්වල අය ඒ වන රොදේ වතුර නැති නිසා සෝදන්නෙ නැතුව ගෙදර ඇවිත් නානව කියලා. මේවා අහනකොට අපේ සහභාගිකයො වැඩිය ගණනකට ගත්තෙ නැහැ..
ඉතින් අපි ඔක්කොම ගම් වලට ගියා කියමුකො. අපි ගිය ගමට 'කෝන මංගලම්' කියලයි කිව්වෙ. අපි හිටිය ගෙදර ගෘහපතිනියගෙ නම රන්ජිතා. අපි ඇයට කිව්වෙ, 'රන්ජිතම්මා' කියල. අපි මෙහෙ වැඩිමහල් අයට අක්ක අයියා කියනව වගෙ එහෙ එහෙම තමයි කියන්නෙ.
ඒ මැටි ගෙදර තියෙන්නෙ එකම කාමරයයි.ඒකෙ පිත්තල හට්ටි, මුට්ටි වගයක් දිලිසෙන්න මැදල උඩට උඩට අඩුක්කරල තියෙනව. ඒ කාමරයෙ ඕනි නම් එක අයෙකුට පැදුරක් එලා ගෙන ඉන්න පුළුවන් ඉඩක් තමයි තියෙන්නෙ. මට ඒ ගෙදරට අඩිය ගහපු වෙලාවෙ ඉඳලම හිතුනෙ රෑට කොහොමද අපි ඉන්නෙ කියලා.
එළුවො, බල්ලො, කුකුලො හැම තනකම රිසි සෙ අහුලන් කනවා. උලා කනවා. මලපහ කරනවා.' ඉවසපන් පපුව' කියල මම මටම තරවටු කර ගන්නව. සහභාගීත්වක්‍රමවේදයන් උපයෝගී කර ගෙන ගම් ගැන කරුණු සෙවීම සහ සමීක්ෂණයක් මගින් ගමට උචිත ප්‍රජා සංවර්ධන වැඩපිලිවෙලක් සැලසුම් කිරීම තමා අපට පැවරී තිබුණෙ.
මුල්ම දවසෙ අපට දවල් කෑම ඔතල දුන්න, පුහුණු ආයතනයෙන්ම. ඉඩ්ලියි, සාම්බාරුයි...රෑටත් ඊට පස්සෙත් නවතින ගෙවල්වල කන දෙයක් කාල පැමිණිලි නැතුව ඉන්න කියලයි අපට උපදෙස් ලැබුණෙ.මම හිතුවෙ අඩුවෙන්ම කාල ඉන්න එක හොඳයි කියල වැසිකිළි ප්‍රශ්නෙ ට විසඳුමක් හැටියට.
දවල් කෑමෙන් පස්සෙ අහල පහළ ගෙවල් කිහිපයකට යන්න මම හිතුව. මට දෙමළ ටිකක් කතා කරන්න පුළුවන්ව තිබීමත් ආශිර්වාදයක් වුණ. එහෙ ප්‍රධාන වශයෙන්ම කතා කළ භාෂාව වුණෙ තෙලිඟු. උච්චාරණය දමිළ බස වගෙ වුණාට සමානකම් තිබුණෙ නැහැ, එහෙමටම. අපේ සමහර පිටිසර පළාත්වල අයට ටිකක් ඉංග්‍රීසි බස හසුරුවා ගන්න පුළුවන් වගෙ එහෙ අයට දමිල බස හසුරුවන්න හැකියාවක් තිබුණා.
එහිදි තමයි, මට තේරුම් ගියෙ අර අපේ රටේ අන්ඩර දෙමළ කතාවෙ නියම අදහස. අපි හිටිය 'කෝණ මන්ගලම්' ගම අයිති චිත්තූර් නගරය පිහිට් ආන්ද්‍රා ප්‍රදේශයට. එහෙ අය කතා කරන්නෙ 'තෙලිඟු' බස. දමිළ බස වගෙම තමඉ...හැබැයි..ලංකාවෙ දමිළ කතා කරන අයට වත් තේරෙන්නෙ නැහැ. ඒ නොතේරෙන එකට තමයි, "මට නම් අන්ඩර දෙමල වගෙ" කියන වචන ජන වහරට එකතු වෙල තියෙන්නෙ කියල මට හිතුණා.
දවල් කෑමෙන් පස්සෙ ජපන් මල්ලි, බබා වගෙ මිදුලෙ තිබුණු ලණු ඇඳේ පුංචි පහේ නිද්‍රාවක් දැම්ම ගමේ ඇවිදීම වෙනුවට. රන්ජිතම්මත් එක්ක මම ගමේ අවිදින්න ගියේ මගදි හමුවෙන හැමො එක්කම වචන දෙක තුනක් හෝ හුවමාරු කර ගනිමින්. ඒ සියල්ලක්ම අපේ ක්ෂේත්‍ර අධ්‍යයනයට දත්ත සපයන නිසා.
මේ ගම් වල අය බොහෝ ලෙඩ වලට පාවිච්චි කරන්නෙ අත් බෙහෙත්. එහෙමත් නැත් නම් ආයූර්වේද ක්‍රමයට කැලෙන් කොලෙන් හොයා ගත්තු බෙහෙත්. ඒව පාරම්පරික වෙදකම් වලින් එන ඒව බව රන්ජිතම්මා අපට පැහැදිලි කළා.
හැම ගෙදරකම මිදුල්වල වගෙම ගමේ හැම තැනකමත් කොහොඹ ගස්, පාවට්ට, බෙහෙත් එඬරු, නික වගෙ ඖෂධ පැලෑටි හදල තිබුණා. අර මම කලින් සඳහන් කළ වන රොදට අමතරව ඔසු උයන් වගෙ බෙහෙත් ගස් සහ පැලෑටි හදපු සිසිල් සෙවනින් යුතු ඔසු වනයකුත් තිබුණා.
ගෙවල් හතර පහකට විතර ගිය අපි පහුවදා හවස හය හමාරට විතර රැස්වීමකට කෝවිල ලඟට එන්න කියල පණිවිඩයකුත් සන්නිවේදනය කරමිනුයි ගියෙ. දැන්වීම් ගහල වැඩක් නැහැ, එහෙ බොහොම දෙනෙකුට අකුරු දන්නෙ නැති නිසා.
අඳුරු ලප අහසේ තැනින් තැන සලකුණු වෙද්දි අපි රන්ජිතම්මගෙ ගෙදරට ආව. ජපන් මල්ලි කොල්ලො කුරුට්ටො රොත්තක් අල්ල ගෙන පාපන්දු උගන්වනවා. එයා ආධාර සපයන ජපන් ආයතනයෙ ලොක්කගෙ පුතා බව පස්සෙයි මම දැන ගත්තෙ. ඒකයි අපි වගෙ කැපවීමක් නැතුව සංචාරකයෙක් වගෙ ගමේ හිටියෙ. හැබැයි, කිසිම ආඩම්බර කමක් පෙන්නුවෙ නැහැ,කාටවත්ම.
ඔන්න රන්ජිතම්ම කෑම පිළියෙල කරන්න උයන ගෙයි වාඩි වුණා.රෑ කෑමට චපාති හදන්න පිටි අනනවා බලා ඉන්න ආසයි. දර ලිප ගිනි මොලවලා චපාති හදලා, පරිප්පු අහුරක් අඹරල තෙල් දමල දියට හොද්දක් හැදුවා.
ජපන් මල්ලිට න ම්කෑම ඇල්ලුවෙ නැතුවද කොහෙද, එයාගෙ ගමන් මල්ලෙන් වේලපු මස් පැකට් එකක් අර ගෙන අඩුව පිරි මසා ගත්තා.
කෑමෙන් පස්සෙ මිදුලෙ හඳ එලියෙ පැදුරු එලා ගෙන අපි පැදුරු පාටියකුත් දැම්මා. රන්ජිතම්මගෙ ලොකු පුතාට 'කමලාසන්' වගෙ නළුවෙක් වෙන්න ඕනිලු. එයා සින්දු කියන්න පටන් ගෙන නවත් වන්නම බැරි වුණා. ජපන් මල්ලිගෙ කැමරාවෙ විදුලි කොටන කොට කොල්ලො කුරුට්ටන්ව ගෙවල් වලට පන්න ගන්න අසීරු වුණා, රෑ බෝ වෙන කල්ම.
රන්ජිතම්ම මට හපුටු කොට්ටයක් ගෙනැත් දුන්නා, නිදා ගන්න කියල. ඒකෙ ඔලුව තියන්නෙ කොහොමදකියල ප්‍රශ්න අහන හිතට ගෙනාපු තුවාය කොට්ට උරයක් වෙන්නම් කිව්වා. මම වට පිට බැලුවා. අහස වහල කර ගෙන නිදා ගන්නෙ කොහොමද කියලා මගෙ හිතට ලොකු ප්‍රශ්නයක්.
"මම වැඩ ඉවර කරලා එන්නම්..මිස් නිදාගන්න" කියල
රන්ජිතම්මා වළං පිඟන් හෝදන්න ගියා. ජපන් මල්ලිට ලණුඇඳ....මට බිම පැදුර. එකම එක ඇඳයි, මුළු ගෙදරටම. ගැහැණුන්ට වඩා පිරිමින්ට සැලකිලි වැඩියි නෙ ආසියාතික රටවල.
කොට්ටෙට තුවාය පොරවල මම පැදුරෙ ඇලවුණා. අහස පුර විසිරුණු තරු මල් සුවඳ වෙනව නම් මුළු ලොකෙටම වෙන සුවඳ වල්මොකටද කියල මට හිතුනා. අලා මැදිරියො වටේට කරකෙනවා. තරු වරින් වර කඩා හැලිල ඉගිලෙනව වගෙ. තරු වලින් මම කවි ලිව්වා. සිතුවම් ඇන්දා. කතා පෙළ ගැස්සුව; නින්ද නො එන ඇස් වලට, අහස් වියන වහලක් වෙන කල්. නින්ද යාගෙන එද්දි දෙ පතුල් මත්තෙ මහ බරක්. බලු පැටියෙක් ඇවිත් ගුලි වෙනව, එලිවෙනකල් හීන බලන්න. කකුල් දෙක උඩට ඇද ගෙන මම එහාට මෙහාට වුනා. එතකොටම එළුවෙකුත් හරි බරි ගැහෙනවා.
මට ගැමුණු කුමාරයගෙ කතාව මතක් වුණා.
' වම්පැත්තෙන් එළුවෙකුත්, දකුණු පැතෙන් බල්ලෙකුත් ඉඳිද්දී මම කෙසේ අත් පා දිග හර සුවසේ නිදම් දැයි මට රන්ජිතම්ම ගෙන් අහන්න හිතුණා. එතකොටම එයත් මගෙ පනයට උත්තර දෙන්න වගෙ මං හිටිය පැදුර ලඟට ආව. මම නිදි වගෙ ඇස් වහ ගත්තා. එයත් සද්ද නොකර මම හිස තියාන හිටි කොට්ටෙන්ම හිස තියා ගත්තා.
ජපන් මල්ලි ගොරව ගොරව නිදි. මගෙ ඇස් වලට පෙනෙන තෙක් මානයක නිදි දෙව් දුව නහැ. එයා පුහුණු මධ්යස්තානෙ නවතිලාද කොහෙද? යන්තම් ඇහ පිය වෙද්දි ඔලුවෙ මොකද්ද වැදෙනව දැනිල මම ගැස්සුනා. වසු පැටියෙකුත් ඇවිත් තනි රකින්න. ඉන්දියානු ජන ජීවිතය ගැන පර්යේෂණ වෙනම කළ යුතු නහැ කියල මට හිතුණා.
හඳ එළිය මිදුල පුරාවට හමන සුළං කැරලිත් එක්ක භරත නැටුම් නටනව වගෙ. පුංචි කාලෙ අහල තිබුණු ගොපලු අවතාරය වත් පෙනේවි කියන බයට මම ඇස් දෙක තද කරල පියා ගත්තා. තව රෑ හයක් මේ ආකාරයට ප්‍රජා සංවර්ධනය ඉගෙන ගන්න කැප කරන්න තියෙනව නේද, සහභාගීත්ව ක්‍රම වේදය යටතෙ කියල කවුදෝ මගෙන් අහනව. මුල්ම දවසෙ සහභාගීත්ව ක්‍රම වේදය අනුව නිදා ගැනීම....එලු,බලු, හරක් ප්‍රජාව වටපිටාවෙ නිදද්දී...
.

3 comments:

L15H4N said...

මම හරිම සතුටු වෙනව මටත් මේ වගේ අවස්ථාවක් ලැබුණ නම් බිසෝ මමත් හරිම සතුටු වෙනවා. මොකද..? ජනයා හා ගැවසීම ම තමා අපිට ජනජීවිතය ගැන ප්‍රජාව සංවර්ධනය කල යුතු අයුර ගැන තොරතුරු සපයන්නේ. ඔබ අද යම් තැනක වැජඹෙනවා නම් ඒ අද දවස ඔබට ලැබී තිබෙන්නේ ඉහත ලියමනේ තිබෙන පෙර දිනේ දායාදයක් විදියට.

අක්කණ්ඩි said...

Nice way of writing. When some one is doing community development he/she should be one of that community. I like to read this..so write more.

වින්චැට්කිරිල්ලි. said...

ඒ වගේ ගමනක් ගිහින් ගමක ඉන්න ආස හිතුන...මම මෙහෙම කිව්වට ඔයා දන්නව ඇති ඒකෙ නියම රසය...:):)

Post a Comment